ප්‍රවෘත්ති

HNB FINANCE PLC “Vega” ඩිජිටල් සම්මාන උළෙලේදී ඇගයුමට පාත්‍ර වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයකු වන HNB FINANCE සිය සමාජ මාධ්‍ය තොරතුරු සහ අලෙවි සේවා වෙනුවෙන් 2020 වසරේ Vega ඩිජිටල් සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ අලෙවි සේවා වාර්ෂිකව ඇගයීමට ලක් කරන Vega ඩිජිටල් සම්මාන උළෙල මෙම ක්ෂෙත්‍රයේ ඉහළ පිළිගැනීමක් සහිත සම්මාන උළෙලක් ලෙස හැඳින්විය හැක. මෙම වසරේ සිංහල හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් HNB FINANCE විසින් නිර්මාණය කළ අපේ ගෙදර අවුරුදු නම් වූ ඩිජිටල් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන Vega ඩිජිටල් සම්මාන උළෙලේදී ඉහළ පිළිගැනීමක් සහිත zArcturus AwardZ සම්මානයෙන් පිදුම් ලැබීය.
HNB FINANCE විසින් හිමිකර ගත් මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වන සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා ‘‘කෝවිඩ් වසංගතය පැතිරීමත් සමගම රට වසා දැමීම නිසා අපගේ සාමාන්‍ය ඩිජිටල් සේවාවන් තුළින් ජනතාව වෙත ධනාත්මක සන්නිවේදනයක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් පසුගිය සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් මෙම අපේ ගෙදර අවුරුදු ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහන අපි දියත් කරනු ලැබුවා. එය ජනතාව ආදරයෙන් වැළඳ ගත් අතර මෙහි සංකල්පීය විශිෂ්ටත්වය ජාත්‍යන්තරය මගින් ද ඇගයීමට ලක් වීම අප ලද ජයග්‍රහනයක් ලෙස මම දකිනවා. පසුගිය කාලය පුරාවටම නවෝත්පාදනයන් වෙත යෑමට සහ අපගේ සේවාවන් ඩිජිටල්කරණයට ලක් කිරීමට ගත් වෑයම මේ වන විට සාර්ථකව ඇති බව මෙම සම්මානයන් හරහා තහවුරු වෙනවා. එමෙන්ම මේ වසර අවසන් වන විට අපගේ සේවා පූර්ණ ඩිජිටල්කරණයකට ලක් වනු ඇති බව නිසැකවම පැවසිය හැකියි. ඩිජිටල්කරණය අපගේ අනාගත සේවාවන් ගේ තීරණාත්මක සාධකයක් වන අතරම පාරිභෝගිකයින් අපේක්ෂා කරන සේවා මට්ටම අභිබවා යෑමට අපට හැකි වනු ඇති බව මම විශ්වාස කරනවා. සේවා ඩිජිටල්කරණයට ලක් වීම තුළ සේවාවන් වේගවත්ව ලබා දීම, ධාරිතාව උපරිම කිරීම සහ පිරිවැය පාලයකින් කටයුතු කිරීමට හැකි වීම තුළ වඩාත් උසස් පාරිභෝගික සේවාවක් ලබා දීමට අපට මෙය මහෝපකාරී වන බව නිසැකවම කිව හැකියි“යනුවෙන් පැවසීය.

කෝවිඩ් වසංගතය හේතුවෙන් රට වසාදැමූ කාලපරිච්ඡේදයේ සිය නිවෙස්වලට සීමා වී සිටි ජනතාවගේ මානසික සතුට සහ අලූත් අවුරුද්ද වෙනුවෙන් නව අත්දැකීමක් ලබා දීම පෙරදැරිව HNB FINANCE අපේ ගෙදර අවුරුදු ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක්ද දියත් කරන ලදි. HNB FINANCE සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතුවල ප්‍රශස්ත හා වේගවත්බව වෙනුවෙන් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කළ අතර වෙළෙඳපොළට හඳුන්වාදුන් නව සේවාවන් ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීමට කටයුතු කර ඇත.

පස්වැනි වරටත් පැවති Vega ඩිජිටල් සම්මාන උළෙල IAA ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර වෘත්තීය හා ආධුනික වශයෙන් කාණ්ඩ 560ක් යටතේ සම්මාන සඳහා අයදුම්පත් 1182ක් මේ වසරේදී ඉදිරිපත් විය. රටවල් 29ක සමාගම් විසින් මෙම අයදුම්පත් ඉදිරිපත් වූ අතර දෘඩ ක්‍රියාවලියක් යටතේ අන්තර්ජාතික ජූරියක් විසින් සම්මාන සඳහා සුදුසුකම් ලැබූවන් තෝරා ගන්නා ලදි. HNB FINANCE විසින් මෙම වසරේ දිනා ගත් මෙම සම්මානය පසුගිය වර්ෂයන්හිදී දිනා ගනු ලැබුවේ Hypergiant Industries, Cinétévé Experience Philip Morris , Sony Pictures Entertainment, BMW, Dittoe PR, Mirrored Media වැනි ලොව ප්‍රමුඛ ජාත්‍යන්තර වෙළෙඳ සන්නාමයන් විසිනි.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් සහිතව දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු සේවා යන මූල්‍ය සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME& ණය ලබා දීම ද සිදුුකරනු ලබයි.