ප්‍රවෘත්ති

HNB FINANCE PLC හි වාර්ෂික මහ සභා රැස්වීම ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින් පවත්වයි

HNB FINANCE PLC හි වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින් සැප්තැම්බර් 29 දින සමාගම් ශ්‍රවණාගාරයේදී සාර්ථක අන්දමින් පැවැත්වින. දස වන වරට පැවති HNB FINANCE වාර්ෂික මහ සභා රැස්වීම කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් පනවා ඇති සංචරන සහ රැස්වීමේ සීමාවන් හේතු කොට ගෙන අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූයේ ප්‍රථම වරටය. සමාගමේ කොටස් හිමියන්ට අන්තර්ජාලය ඔස්සේ වාර්ෂික මහ සභා රැස්වීම සමග සම්බන්ධ වීමට අවකාශ සලසා තිබිණි. HNB FINANCE සමාගම කොටස් වෙළෙඳපොළට පිවිස සීමිත පොදු සමාගමක් බවට පත්වීමෙන් අනතුරුව පැවති පළමු වාර්ෂික මහ සභා රැස්වීම මෙය වේ.
ආරම්භයේ සිටම නවෝත්පාදනයන් වෙත නොපැකිලිව ගමන් කරන HNB FINANCE සමාගම පසුගිය දා පවත්වනු ලැබූ සිය මහ සභා රැස්වීම තුළින් ද ඩිජිටල් තාක්ෂණය වෙත පියනැගීමේ සිය අභිප්‍රායන් කොටස්හිමියන් හමුවේ සනාථ කිරීමට සමත් වූ අතර ගෝලීය වසංගත තත්වය හමුවේ සිය සේවාවන් අඛණ්ඩව ඩිජිටල් වේදිකාව මත පවත්වාගෙන යෑමටත් ඒ තුළින් තාක්ෂණය වැඩි වශයෙන් භාවිතයට ගන්නා මූල්‍ය සමාගමක් වශයෙන් ගනුදෙනුකරුවන් සමග වඩාත් ඵලදායී සහසම්බන්ධතාවක් ගොඩ නංවාගැනීමට හැකි වූ බවත් මෙහිදී තහවුරු විය.
කෝවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නියාමනයන් ඒ අයුරින්ම ආරක්ෂා කරගනිමින් හා සමාජ දුරස්ථභාවය තබා ගනිමින් HNB FINANCE හි ප්‍රධාන කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති මහ සභා රැස්වීම සඳහා කොටස් හිමියන් සිමීත පිරිසක් පමණක් සහභාගී කරවා ගත් අතර සෙසු කොටස් හිමියන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට සමාගම කටයුතු සම්පාදනය කළේය. න්‍යාය පත්‍රයට අනුව කොටස් හිමියන්ගේ ඒකමතිකත්වයෙන් සම්මත කර ගැනීමට තිබුණු කරුණු සඳහා ඡන්ද විමසීම ද අන්තර්ජාලය ඔස්සේ සජීවිව පවත්වනු ලැබීය. ඡන්දය ලබා දීමෙන් අනතුරු එහි ප්‍රතිඵල තිරයෙහි ප්‍රදර්ශනය කෙරිණ.

HNB FINANCE PLC මහාසභා රැස්වීමේ මුලසුන සමාගමේ සභාපති ජොනතන් අලස් ,කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රජීව් දිසානායක යන මහත්වරුන් විසින් හොබවන ලදි. සමාගම් ශ්‍රවණාගාරයට රැස්වූ සමාජිකයින්ගේ අනුමත ක්‍රියාවලියෙන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වූ කොටස්හිමියන්ට කළමනාකාරීත්වය වෙත ප්‍රශ්න යොමු කිරීමට අවස්ථාව ලබා දුන් අතර HNB FINANCE හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් ඊට පිළිතුරු ලබා දුන්හ. HNB FINANCE සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන අනුෂ්ක විජේසිංහ, ආචාර්ය උදාන් ප්‍රනාන්දු, මහින්ද පෙරේරා සහ හසිත විජේසුන්දර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 49 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත්‍රයන් ගණනාවක් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු සේවා යන මූල්‍ය සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ණය ලබා දීම ද සිදුුකරනු ලබයි.