ප්‍රවෘත්ති

HNB FINANCE PLC අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරයකු පත්වෙයි

HNB FINANCE PLC අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා කෝවින්ද ගිම්නද පෙරේරා මහතා පත් කර ඇත. ඔහු HNB FINANCE PLC හි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස 2020 වසරේ දෙසැම්බර් 10 වන දින සිට කටයුතු කරනු ඇත. ඔහුගේ මෙම පත්කිරීම සිදුකරනු ලබන්නේ මීට ඉහතදී ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු සහ සමාගමේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා විශ‍්‍රාම යෑමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහාය. මූල්‍ය සමාගම් සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආයතනික පාලනය පිළිබඳ නියාමනයන්ට අනුව අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයකු ලෙස උපරිම වශයෙන් කටයුතු කළ හැකි කාලය වසර 9ක් වන අතර ඉන් අනතුරුව එම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා ආයතනයෙන් විශ‍්‍රාම යා යුතු වේ.

අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා අලූතින් එක් වූ කෝවින්ද පෙරේරා මහතා එංගලන්තයේ කීර්තිමත් Imperial College of London හි උපාධිධාරියකු වන අතර සුදුසුකම් ලත් අත්දැකීම් සහිත මූල්‍ය උපායමාර්ගික වෘත්තිකයකු සහ ආයෝජන උපදේශකවරයකු ද වෙයි.

වර්තමානයේ ඒ මහතා ශ‍්‍රී ලාංකීය දේපළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ දැවැන්තම ආයතනය වන ප‍්‍රයිම් සමූහයේ උපායමාර්ගික සහ ව්‍යාපාර සංවර්ධන අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරයි. එමෙන්ම සමූහයේ විදේශ වෙළෙඳපොළ කටයුතු ඔහු විසින් අධීක්ෂණය කරනු ලබයි.