ප්‍රවෘත්ති

HNB FINANCE පුත්තලම ශාඛාව තමන්ගේම නව නිවහනකට පිවිසෙයි

වසර 20ක් පුරා ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB FINANCE සමාගමේ පුත්තලම ශාඛාව පුත්තලම නගර මධ්‍යයේ අංක 44/ සර්විස් රෝඞ් පුත්තලම යන ලිපිනයෙහි පිහිටි වඩාත් ඉඩ පහසුකම් සපිරි සමාගමටම අයත් නව තෙමහල් ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදි.

නවීන තාක්ෂණික ක‍්‍රමවේදයන් භාවිතය සහ පරිසර හිතකාමී තිරසර ක‍්‍රමවේදයන් භාවිතය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් යොමුකරන HNB FINANCE සමාගම මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමේදීද ඒ පිළිබඳ සිය අවධානය යොමු කර තිබීම විශේෂත්වයකි. විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් භාවිතා කොට කාර්යක්ෂම ලෙස විදුලිය අරපිරිමැස්ම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මෙහිදී කැපී පෙනේ.

අභිනව HNB FINANCE පුත්තලම ශාඛාව එහි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී චමින්ද ප‍්‍රභාත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර මෙම අවස්ථාවට HNB FINANCE හි ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ප‍්‍රියලාල් අරංගල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ශාඛා ජාල, ඇනස්ලි ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළුව නිලධාරීන් විශාල පිරිසක් එක් විය.

රන් ණය ක්ෂේත‍්‍රය බැංකු සහ මූල්‍ය සමාගම් අතර ප‍්‍රචලිතව ඇතත් වඩාත් විධිමත්ව හා විශ්වසනීය ලෙස මෙම සේවාව සැපයීම සඳහා ඉදිරිපත් ව සිටින මූල්‍ය සමාගම් අතර HNB FINANCE සමාගම වේගයෙන් ඉදිරියට පැමිණෙමින් සිටින්නේ ගනුදෙනුකරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල සහ ගනුදෙනුව අභිබවා යන සුහද සේවාව යන කරුණු හේතුවෙනි. විශේෂයෙන් HNB FINANCE මගින් සපයනු ලබන සියළුම මූල්‍ය සේවාවන් සේම HNB FINANCE රන් ණය සේවාවද ඉතා සීඝ‍්‍රයෙන් පාරිභෝගික ප‍්‍රසාදය සහ ආකර්ශනය දිනා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි.

ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් මෙම අවස්ථාවට සහභාගී වූ HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා අදහස් දක්වමින් ‘‘සමාගමේ ආරම්භයේ සිටම විශිෂ්ට කාර්යසාධනයක් සමාගමට සහ ප‍්‍රජාව වෙත තිළිණ කළ HNB FINANCE පුත්තලම ශාඛාවේ සේවා වඩාත් ප‍්‍රශස්ත ලෙස ජනතාව අතරට ගෙන යෑම සඳහා අප සමාගමටම අයත් මෙම පරිශ‍්‍රය හේතුවනු ඇතැයි මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම සමාගමේ 20 වැනි සංවත්සරයට සමගාමීව අපේම ගොඩනැගිල්ලකට පුත්තලම ශාඛාව ගෙන එන්නට හැකිවීම අප ලැබූ තවත් ජයග‍්‍රහනයක් විදිහටයි මම දකින්නේ.

මෙහිදී වසර විස්සක කාලයක් තුළ HNB FINANCE සමාගම ළගා කර ගත් විශිෂ්ට ජයග‍්‍රහනයන් සහ ලබා ඇති ප‍්‍රගතිය සම්බන්ධයෙන් අප සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයටත් නිරන්තරයෙන් අප සමග බැඳී සිටින ගනුදෙනුකාර භවතුන් සහ මගේ කාර්ය මණ්ඩලයටත් මගේ ගෞරවනීය ස්තූතිය පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. කෘෂි සහ ධීවර වෘත්තීන් ආශ‍්‍රිත ආර්ථිකයක් පවතින පුත්තලම නගරයේ සහ ඊට තදාසන්න ප‍්‍රදේශයන්හි ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා අපගේ පුත්තලම ශාඛාව මගින් ඉමහත් දායකත්වයක් ලබා දෙනු ඇතැයි මම අපේක්ෂා කරනවා. එමෙන්ම දිගුකාලයක් පුරා පාරිභෝගික භවතුන් සමග ගොඩනගා ගත් විශ්වාසයේ සබැඳියාව මත වඩාත් ඉඩ පහසුකම් සපිරි නව කාර්යාල පරිශ‍්‍රයකට පැමිණීමටත් HNB FINANCE රන් ණය සේවාව සහ අනෙකුත් මූල්‍ය සේවාවන් සියල්ලත් සමගින් සියළුම මූල්‍ය සේවාවන් එක වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාවත් අප ගනුදෙනුකාර භවතුන් වෙත ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා’’ යනුවෙන් පැවසීය.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE LIMITED ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් පුරා දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත‍්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු සේවා යන මූල්‍ය සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය SME ණය ලබා දීම ද සිදුකරනු ලබයි.