ප්‍රවෘත්ති

HNB FINANCE සේවකයින් ඉටුකම කෝවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 2.5ක් පරිත්‍යාග කරයි

ජාතික ව්‍යසනයකදී ඉන් අත්මිදීම සඳහා සිය දායකත්වය උපරිමයෙන් ලබා දෙන HNB FINANCE සමාගම එහි සේවකයින් කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් අඩපන වූ ශ්‍රී ලංකාව යළි ගොඩනැංවීම සඳහා දියත් කළ ඉටුකම අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක් පසුගියදා පරිත්‍යාග කළේය. සමාගමේ සේවකයින් සිය වේතනයෙන් කොටසක් ලබාදෙමින් කෝවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට සහ ජන ජීවිතය සවිබල ගැන්වීම වෙනුවෙන් රජය විසින් දියත් කර ඇති සුබසාධන වැඩසටහන් සඳහා සිය දායකත්වය උපරිමයෙන් ලබා දෙන ලදි.

ඉටුකම අරමුදල සඳහා HNB FINANCE සමාගමේ සේවකයින් විසින් සිදු කළ පරිත්‍යාගය සමාගමේ කළමණාකාර අධ්‍යඬ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් , ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියලාල් අරංගල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් රුවන් ප්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවි බිමල් සෙනෙවිරත්න , පුහුණු කටයුතු ප්‍රධානී අනුර උඩවත්ත යන මහත්වරුන් විසින් ජනාධිපති අතිරේක ලේකම්වරයා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙන ලදි.

රටට උපකාර අවැසි මොහොතක සේවකයින් විසින් සිදු කළ මෙම උදාර පරිත්‍යාගය පිළිබඳව අදහස් දැක්වූ HNB FINANCE හි කළමනාකාර අධ්‍යඬ චමින්ද ප්‍රභාත් මහතා zz අනපේක්ෂිත ලෙස ලොවම වෙලා ගත් කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මුළු ලෝකයම ආර්ථීක සහ සෞඛ්‍යමය අර්බුද ගණනාවකට මුහුණ දුන්නා. මෙබඳු ගෝලීය වසංගත අවස්ථාවකදී ශ්‍රී ලාංකිකයින් ලෙස අපට හැකි ආකාරයට මෙරට ආර්ථීකය සහ ජනජීවිතය නංවාලීම සඳහා ඉදිරිපත් වීම අප සතු යුතුකමක් ලෙස මම විශ්වාස කරනවා. මෙම වසංගතය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළුව රජය විසින් ගෙන ගිය සාර්ථක වැඩපිලිවෙළ සහ සෞඛ්‍ය , ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ කැපවීම අපි මහත් ඉහළින් ඇගයීමට ලක් කරන අතර ඔවුන් විසින් මේ රටට ඉටු කළ උදාරතර මෙහෙවර සුළුවෙන් හෝ ඇගයීමට ලක් කිරීමට මේ පරිත්‍යාගය හරහා අපි බලාපොරොත්තු වෙනවා.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE LIMITED ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් පුරා දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු නිෂ්පාදන යන මූල්‍ය සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය: ණය ලබා දීම ද සිදුුකරනු ලබයි.

සමාප්තයි.