ප්‍රවෘත්ති

HNB FINANCE PLC, ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී රන් සම්මාන ද්විත්වයක් දිනා ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය විශිෂ්ට සේවා තත්වය යළිත් ශක්තිමත් ලෙස සනිටුහන් කරමින් පසුගියදා නිමාවට පත්වූ 2020 ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී (ACEF Global Customer Engagement Awards 2020) රන් සම්මානයන්ගෙන් පිදුම් ලැබීය. HNB FINANCE සමාගම මෙම සම්මාන උළෙලේදී වඩාත් ගෞරවනීය සම්මානයන් වන ‘‘ශ්‍රී ලංකාවේ විශිෂ්ට පාරිභෝගික සබදතාවක් අඛන්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් වූ ඇගයුමට හිමි රන් සම්මානයත්, ‘‘බැංකු සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සමාජ මාධ්‍ය සන්නාමය“ වශයෙන් ද රන් සම්මාන දෙකක් හිමිකර ගන්නා ලදි.

විශිෂ්ට පාරිභෝගික සබඳතාවක් අඛණ්ඩව පවත්වාගෙන යෑම පහසු කටයුත්තක් නොවන අතර මේ තත්වය පවත්වාගෙන යෑම සඳහා සමාගමක් ලෙස HNB FINANCE විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් ජාත්‍යන්තර ඇගයීමට ලක්වීම සැබවින්ම සමාගම පමණක් නොව මෙම ක්ෂේත්‍රයේද ජයග්‍රහනයකි. ශ්‍රි ලංකාවේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සමාජ මාධ්‍ය සන්නාමය බවට පත් වීම සහ පාරිභෝගිකයින් අතර වඩාත් ගෞරවයට ලක් වූ සන්නාමය බවට පත් කරවීම සඳහා කැපවීමෙන් කටයුතු කළ HNB FINANCE හි සියලූ සේවකයින්ට මෙහි කීර්තිය හිමිවන අතර අන්තර්ජාලය සහ ඉන් පරිබාහිරව සමාගම විසින් ලබා දෙන විශිෂ්ට පාරිභෝගික අත්දැකීම එලෙසම පවත්වාගෙන යෑමට මෙබඳු අන්තර්ජාතික ඇගයුම් මහත් අභිප්‍රේරණයක් වනු ඇත.

2012 වසරේ සිට ක්‍රියාත්මක වන ACEF සම්මාන උළෙල ඉන්දියාව, ශ්‍රී ලංකාව, සහ එක්සත් අරාබි එමීර් යන රටවල් නියෝජනය කරන වෘත්තීයවේදීන් කණ්ඩායමක් විසින් ඇරඹූ අතර මෙහි උපදේශන කටයුතු සඳහා ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව, ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව යන රටවල සන්නාමකරණය, අලෙවිකරණය සහ නිර්මාණාත්මක අදහස් යන ක්ෂේත්‍රයන් හි හසල දැනුමක් සහිත වෘත්තිකයින් එක් ව සිටී. මෙම ACEF සම්මාන උළෙලේදී ආසියානු පැසිෆික් කලාපය, දකුණු ආසියාව සහ ගල්ෆ් කලාපය යන රටවල සමාගම් විසින් සිදු කරනු ලබන පාරිභෝගික සම්බන්ධතා ක්‍රියාකාරකම්, සන්නාමකරණයන්, අලෙවි වැඩසටහන්, ආයතනික සමාජ සත්කාරක වැඩසටහන්, සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපෘති, ග්‍රාමීය අලෙවිකරණ සහ මානව සම්පත් වැඩසටහන් ඇගයීමට ලක් කෙරේ.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 49 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME&” ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප්‍රධාන වේ.