ප්‍රවෘත්ති

HNB FINANCE සහ Prime Finance සහයෝගීතාවයේ ශක්තිය මත නව ගමනක

HNB FINANCE PLC සිය මූල්‍ය සේවා විවිධාංගීකරණයකින් සහ ශක්තිමත්ව පාරිභෝගිකයින් වෙතට රැගෙන යෑමේ අරමුණෙන් Prime Finance සමාගමේ පූර්ණ හිමිකාරීත්වය ලබා ගත් අතර එලෙස අත්පත් කර ගනු ලැබූ Prime Finance හි ශාඛා 7ක් HNB FINANCE ලෙසින් සන්නාම ගත කර මැයි 12වන දින සිට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන ලදි. මෙම ශාඛා 7ත් සමග HNB FINANCE සමගම සතු සමස්ත ශාඛා සංඛ්‍යාව 77ක් දක්වා වර්ධනය වනු ඇත.

HNB FINANCE හි අභිනව බොරැල්ල ශාඛාව ඩී.එස් සේනානායක මාවත, කොළඹ 8 යන ස්ථානයෙහි සහ අභිනව කුරුණෑගල දෙවන ශාඛාව නොම්මර 155, පුුත්තලම පාර, කුරුණෑගල යන ස්ථානයෙහි පිහිටා ඇත. සෙසු ශාඛාවන් ගම්පහ, මීගමුව, වෙන්නප්පුව, නුවර සහ කලුතර යන නගරයන් කේන්ද්‍රගත වෙමින් HNB FINANCE ලෙස ප්‍රති සන්නාමකරණයන් සහිතව විවෘත වී ඇති අතර ඉදිරි කාලයේදී HNB FINANCEහි උපායමාර්ගික ව්‍යාපාර සැලසුම් වලට අනුකූලව වෙනත් නගරවල ස්ථානගත කෙරෙනු ඇත.

HNB FINANCE විසින් Prime Finance සමාගම අත්පත් කර ගන්නා බවට නිල වශයෙන් නිවේදනය කර මාස 6ක් ඇතුළත මෙලෙස Prime Finance සතු මුළු ශාඛා පද්ධතිය තම ශාඛා ජාලයට ඒකාබද්ධ කර ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට HNB FINANCE සමාගම සමත් වී ඇත. ශාඛා ගණන සංඛ්‍යාත්මකව වර්ධනය වනවාට අමතරව Prime Finance විසින් ලබා දුන් මුල්‍ය සේවාද HNB FINANCE හි වර්තමාන සහ අනාගත පාරිභෝගිකයින්ට ලබා දීමට හැකි වනු ඇත. එමෙන්ම මෙම ක්‍රියාවලිය තුළින් සමාගමේ ශේෂ පත්‍රය ශක්තිමත් කරවන අතර වත්කම් මත පදනම් වූ Prime Finance හි ණය කළඹ හේතුවෙන් මුල්‍ය සේවා අවදානම වඩාත් සමතුලිත තත්වයකට පත් වේ.

මෙම අත්පත් කර ගැනීම තුළින් Prime Finance සතු අත්දැකීම් සහිත මානව සම්පත HNB FINANCE වෙත හිමිවන අතර අලුතින් එක් වන ඉඩම් හා දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ මූල්‍ය සේවා HNB FINANCE හි වර්තමාන මූල්‍ය සේවා කළඹ තවත් ශක්තිමත් කරනු ඇත.

“ශාඛා ඒකාබද්ධ වීම තුළ HNB FINANCE සහ Prime Finance හි ඒකාබද්ධ වීමේ ක්‍රියාවලිය මුළුමනින්ම සම්පූර්න වෙනවා. මෙම ඒකාබද්ධ වීමේ ක්‍රියාවලිය තුළින් HNB FINANCE හි මුල්‍ය සේවා කළඹ විවිධාංගීකරණය වීම සිදුවන අතර මෙය වඩාත් කාලෝචිත වන්නේ වර්තමානයෙහි අප මුහුණ දෙන ආර්ථික අභියෝග ජය ගැනීමට නම් වඩාත් ඉහළ විවිධත්වයකින් යුතු මූල්‍ය සේවා රැසක් අපට අවශ්‍ය වන නිසයි. එමෙන්ම HNB FINANCE හි දිගුකාලීන වර්ධන සැලසුම මෙම පියවර තුළින් බලගැන්වෙන අතර නව ව්‍යාපාරික අවස්ථාවන් ද මේ තුළින් විවර වන බව මගේ අදහසයි” යනුවෙන් HNB FINANCE හි සභාපති ඩිල්ශාන් රොඩ්රිගෝ මහතා පැවසීය.

“Prime Finance පවුලේ සියලු දෙනා අපි සාදරයෙන් පිළිගන්නා අතර අත්‍යාවශ්‍ය උපායමාර්ගික තීරණයන් ක්‍රියාවේ යොදවන විට සමාගමේ අඛණ්ඩ පැවැත්මට මෙන්ම පාරිභෝගිකයින් සහ සේවක මඩුල්ලේ යථා පැවැත්ම පිළිබඳව බෙහෙවින් සැලකිලිමත් වෙමින් එය සිදු කරන බව මම කියා සිටිනවා. මෙය HNB FINANCE හි ජයග්‍රාහී වර්ධන මාවතේ සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා මෙන්ම ශ්‍රී ලාංකීය ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පෙර ගමන්කරුවන් දෙදෙනකුගේ ශක්තිමත් සබැඳියාවක් ලෙසින්ද මෙම අවස්ථාව මම හඳුන්වා දෙන්නට කැමතියි” යනුවෙන් HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.

HNB FINANCE සහ Prime Finance හි ඒකාබද්ධ වීම HNB FINANCE හි කොටස් හිමියන් විසින් අප්‍රෙල් මාසයේ පැවති අති විශේෂ මහ සභා රැස්වීමේදී ඒකමතිකව අනුමත කළ අතර මෙම ඒකාබද්ධ වීම මීට ඉහතදී සමාගම් ද්විත්වයේම අධ්‍යක්ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඔවුන්ට 2013 අංක 1 දරණ මූල්‍ය සමාගම් ( ව්‍යුහාත්මක වෙනස්කම්) මාර්ගෝපදේශක පනත මගින් ලබා දී ඇති බලතල ප්‍රකාරව අනුමත කර ඇත.

ප්‍රථම වටයේදී Prime Finance හි කොටස් වලින් 87.27%ක පාලන බලය හිමිවන කොටස් ප්‍රමාණයක් HNB FINANCE විසින් මිලදී ගත් අතර පසුව තවත් 9.37%ක කොටස් ප්‍රමාණයක් ලබාගන්නා ලදී. එමෙන්ම කොටස් වෙළෙඳපොළ නීතිරීතීන්ට අනුකූලව තවත් 1.20%ක කොටස් ප්‍රමාණයෙන් ප්‍රමාණයක් HNB FINANCE විසින් පසුකාලීනව අත්පත් කර ගන්නා ලද අතර ඒ අනුව HNB FINANCE සමාගම සතු Prime Financeහි මුලු කොටස් ප්‍රමාණය 97.84% ක් විය. ඉතිරි කොටස් වලින් 2.16%ක ප්‍රමාණයක් බාහිර කොටස් හිමියන් විසින් අත්පත් කර ගන්නා ලදි.

HNB FINANCE
වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 77 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME), ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ.