ජීවිතේ ජයගන්න එද මා තුළවූ ආශාව අද සැබෑවක් වෙලා

ඇල්ල පහුකරලා බදුල්ල පැත්තට යද්දි පාරේ වම් අතපැත්තේ තියෙන තමිල් අරිසි ගෙ හෝටලය ඒ පළාතේ කාට කාටත් බොහොම හුරු පුරුදුයි. තමිල් අරිසි හෝටලය පටන් ගන්න ඉස්සෙල්ලා ෂෝට්ඊට්ස් කරත්තේ කරන කාලේ ඉඳලා ඇගේ කෑම නොකාපු කෙනෙක් ඒ පළාතේ ඉන්නවානම් ඒ ජීවිතේට කඩේකින් කෑම නොගැනීමේ ප‍්‍රතිපත්තියක ඉන්න කෙනෙක් තමයි. ඇල්ල කදු වළල්ල සුදු පාටින් මීදුම් සළු පොරවගත්තු හැන්දෑවක උණුම උණු තේ එකක් බිබී අපි තමිල් අරිසිත් එක්ක කතා කළා.

මගේ උපන්ගම මල්වත්ත. ජීවිතේට ටික ටික ආර්ථික ප‍්‍රශ්න එකතුවෙද්දි පවුලෙ බරට වාරුවක් වෙන්න ඕනේ කියලා මගේ හිත මට කිව්වා. බදුල්ල බණ්ඩාරවෙල මහ පාරට කිට්ටුව අපේ ගේ තිබුණු නිසාත් දන්න කාලේ ඉඳලා මට කෑම වර්ග හදන්න පුළුවන් නිසාත් මම හිතුවා කෑම වර්ග හදලා පාර අයිනෙ තියාගෙන විකුණන්න පුළුවන් නම් කියලා.ඒකට කඩයක් කුලියටවත් ගන්න ඒකාලේ මට වත්කමක් තිබුණෙ නෑ. මං කලේ ෂෝට් ඊට්ස් වර්ග හදාගෙන කෑම කරත්තයක තියාගෙන විකුණපු එක. මුරුක්කු වඩේ, රොටි, රෝල්ස් පැටිස් වගේ කෑම වර්ග ගොඩක් මම ඒකේ තියාගෙන විකුණුවා. මේ විදිහට ටික කාලයක් කරගෙන යද්දි අපේ කෑම වර්ග වලට හොඳ ඉල්ලූමක් ලැබුණා. කරත්තේ තියාගෙන විකුණලා ඒ ඉල්ලූම සපුරන්න මට බැරි බව තේරුණා.

මේ කාලෙම තමයි මට ග‍්‍රාමින් එක ගැන දැනගන්න ලැබුනේ. ග‍්‍රාමින් සමාගමේ දිරිය ණය මුදල සහ ඒ කණ්ඩායම් ණය ක‍්‍රමයේ තියෙන වාසි ගැන මට දැනගන්නට ලැබීමත් එක්ක මම හිතුවා ඒ ණය ක‍්‍රමයෙන් මට ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න ලොකු අත්වැලක් ලැබේවි කියලා.

එදා ඒ හිතුව හිතුවිල්ල කොයිතරම් සත්‍යක්ද කියනවානම් අද වෙද්දි මට මගේම හෝටලයක් සහ කෑම කඩයක් පවත්වාගෙන යාමට හැකිවෙලා තියෙනවා. රුපියල් 60000 පටන් අරන් ලක්ෂ දෙක දක්වා වරින් වර අවශතා අනුව ණය අරන් තියෙනවා.ආහාර අළෙවියට අමතරව කෑම ඕඩර් බාර ගැනීමත් අපි කරනවා. ළගදි මම ගත්තු ඉඩමේ රෙස්ටුරන්ට් එකක් ආරම්භ කිරීමයි මගේ ඊළඟ බලාපොරොත්තුව…

ඇල්ල අහස කළුවරට ගුලිවෙද්දිත් බලාපොරොත්තු දැල්වුණු තමිල් අරිසිගේ දෑසේ කාන්තියේ වෙනසක් නොතිබුණු බව මට තවමත් මතකයි.

බාලයියා තමිල් අරිසි
ඇල්ල