ප්‍රවෘත්ති

HNB FINANCE PLC 2021/22 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි.

HNB FINANCE PLC 2021 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන 2021/22 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී ඉදිරිපත් කරනු ලබන සිය අතුරු මූල්‍ය වාර්තාවට අනුව ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් විය.

සලකා බලනු ලබන කාලසීමාව තුළ HNB FINANCE හි බදු පෙර ලාභය රුපියල් මිලියන 243.5ක් වූ අතර බදු පසු ලාභය රුපියල් මිලියන 167.5ක් විය. මෙම අගයන් පෙර වසරේ මෙම කාලසීමාව හා සැසඳීමේදී සමාගමේ ලාභදායීත්වය 151.07%කින් වර්ධනය වී ඇති අතර HNB FINANCE හි ශුද්ධ පොලී ආදායම 62%කින් වර්ධනය වී රුපියල් බිලියන 1.9ක් ලෙස වාර්තා වේ. මෙම අගය මීට පෙර වසරේ දැක්වුනේ රුපියල් බිලියන 1.2 ක් ලෙසටය.

HNB FINANCE විසින් වාර්තා කරනු ලැබූ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC හි සභාපති ඩිල්ශාන් රෝඞ්රිගෝ මහතා ‘‘ පසුගිය මාස 6ක කාලය තුළ ඉතා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට අපගේ දැඩි කැපවීමකින් කටයුතු කරන HNB FINANCE කාර්ය මණ්ඩලයට හැකි වීම පිළිබඳව මම බෙහෙවින් සතුටු වෙනවා. මෙම මූල්‍ය වර්ෂයේ ඉදිරි මාස වලදී ශුභවාදී සහ වඩාත් ධෛර්යසම්පන්නව මෙම වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකිවෙතැයි මම අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මෙම මූල්‍ය වසරේ පළමු කාර්තුව තුළදී 70ක් වූ අපගේ ශාඛා ජාලය විසින් පෙන්නුම් කළ කැපවීම ඉදිරියටත් එලෙසම පවතින බව මට විශ්වාසයි‘‘ යනුවෙන් පැවසීය.

කෝවිඞ් ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ සංචරණ සීමාවන් සමග HNB FINANCE හි මූල්‍ය කාර්යසාධනයන් පසුගිය වසර දෙකෙහිදීම දැඩි අභියෝගයන් රැසකට මුහුණ දුන් අතර විශෙෂයෙන්ම කොවිඞ් වසංගතයෙහි ව්‍යාප්තිය සාර්ව ආර්ථික ක‍්‍රියාකාරකම් කෙරෙහි අහිතකර බලපෑම් රැසක් එල්ල කරන ලදි. එහෙත් මෙම සීමාවන් ලිහිල් වූ පසුබිමක සිය ලාභය සහ මූල්‍ය කාර්යසාධනය ධනාත්මක තත්වයකට රැගෙන ඒමට HNB FINANCE සමාගම සමත් විය.

කෝවිඞ් වසංගත ව්‍යාප්තියෙහි තෙවැනි රැල්ල හමුවේ සිව්වන වරටත් අගෝස්තු 20 සිට සැප්තැම්බර් 30 දක්වා රට වසා තැබූ අතර මෙම තත්වය HNB FINANCE හි දෙවැනි කාර්තුවේ කාර්යසාධනය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කෙරිණ. විශේෂයෙන්ම ගනුදෙනු කරුවන් සඳහා ණය සහන කාලසීමාවන් ^ moratoriums& කාර්තුවකට 7%ක් සහ අර්ධ වාර්ෂිකව 26%ක බැගින් වර්ධනය වූ අපහායනයන් සහ සෙසු අලාභයන් මෙම කාලසීමාව තුළදී සමාගම විසින් දරනු ලැබීය.

මෙම අභියෝගයන් මධ්‍යයේ HNB FINANCE හි සේවා කළඹ ශක්තිමත් කාර්යසාධනයක් පෙන්නුම් කළ අතර විශේෂයෙන්ම සමාගමේ රන් ණය සේවාව වාර්තාගත රුපියල් මිලියන 91ක ලාභයක් ලැබූ අතර මෙම අගය පසුගිය වසරේ මෙම කාර්තුව හා සසඳන විට 128% ක වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කරයි.

‘‘පාරිභෝගික අවශ්‍යතා වෙත දැඩි අවධානයක් සහිත මූල්‍ය සමාගමක් ලෙස වඩාත් ප‍්‍රායෝගික පියවරයන් ලෙස අපගේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා ඩිජිටල් අවකාශයක් තුළ ලබා දීමට කටයුතු කළ අතර මෙමගින් කෝවිඞ් වසංගතය හමුවේ රට වසා දාමා තිබූ අවස්ථාවේදී පවා වඩාත් පහසුවෙන් සහ වේගවත් ලෙස සමාගමේ මූල්‍ය සේවා සමග සම්බන්ධ වීමට ගනුදෙනුකරුවන්ට අවකාශ ලැබුණා. කෝවිඞ් වසංගතය සමග රට නව සාමාන්‍යකරණයට පත් වූ අවස්ථාවේ සිට අප විසින් ගනු ලැබූ සාධනීය පියවරයන්හි සාර්ථකත්වය ලද මූල්‍ය කාර්යසාධනය තුළින් මැනවින් පිළිබිඹු වෙනවා. එමෙන්ම කෝවිඞ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සියලූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි ලෙස පවත්වාගෙන යෑම සහ පුද්ගල ආරක්ෂිත උපාංග ලබා දීම වැනි පියවර රැසක් අපි ගෙන තිබෙනවා’’ යනුවෙන් HNB FINANCE හි කළමණාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා පැවසීය.

ක‍්‍රමානූකූලව රටේ ආර්ථිකය ස්ථායී තත්වයකට පත් වන බැවින් සමාගමේ ඉදිරි මූල්‍ය කටයුතුවල සහ ලාභදායීත්වයෙහි යහපත් වර්ධනයක් අපේක්ෂා කරන අතර කෝරෝනා වසංගතයට පෙර පැවති තත්වයට පත් වනු ඇතැයි HNB FINANCE පුරෝකථනය කරයි. ඉදිරි මාස 6 තුළ HNB FINANCE සමාගම වඩාත් වැඩි දියුණු කළ ව්‍යාපාරික ආකෘතියකින් මෙන්ම සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා ද සැලසුම් ක‍්‍රියාත්මක කරනු ඇත.