ප්‍රවෘත්ති

HNB FINANCE PLC අනුග්‍රහයෙන් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට මාර්ග සංඥා පුවරු

තිරසාර ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයෙහි එක් ප්‍රධානතම කරුණක් වන සමාජ බලගැන්වීම යටතේ HNB FINANCE සමාගම මගින් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත “මාර්ග සංඥා පුවරු” පරිත්‍යාගයක් පසුගියදා සිදු කරන ලදි. නුගේගොඩ පොලිස් වසමේ මාර්ග සහ ස්ථානයන් කිහිපයක පදිකයින්ගේ සහ රියදුරන්ගේ දැනුවත්වීම පිණිස මෙම මාර්ග සංඥා පුවරු රැඳවෙනු ඇත.

HNB FINANCE හි තිරසාර ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ නියමු වැඩසටහනක් ලෙස මීට පෙරද නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත මාර්ග සංඥා පුවරු පරිත්‍යාග කරනු ලැබූ අතර එම වැඩසටහනේ දෙවැනි අදියර ලෙස මෙම වසරේදීත් පදිකයින්ගේ සහ රියදුරන්ගේ පහසුව පිණිස මෙම මාර්ග සංඥා පුවරු නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත පරිත්‍යාග කරන ලදි. මෙම අවස්ථාවට HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිළධාරී වමින්ද ප්‍රභාත් මහතා සමගින් අළෙවි අංශ ප්‍රධානී උදාර ගුණසිංහ සහ ජ්‍යෙෂ්ඨ අළෙවි කළමනාකරු තිළිණ දිසානායක යන මහත්වරුන් සහභාගී වූ අතර, මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය නියෝජනය කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික තුෂාර සහ රථවාහන අංශයේ ස්ථානාධිපති චමින්ද ගජනායක යන මහත්වරු එක් වූහ.

“මාර්ගය භාවිතා කිරීමේදී පදිකයින්ට මෙන්ම රියදුරන් තුළද විනයක් ශික්ෂණයක් තිබිය යුතුයි. මෙම විනය පවත්වාගැනීම සඳහා රියැදුරන් මෙන්ම පදිකයින් ද මාර්ග නීතිවලට අවනත වීම ඉතාම වැදගත්. එසේ නොවුනහොත් එය ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවන තරම් දුරදිග යා හැකියි. මහජන සාමය ආරක්ෂා කිරීම මෙන්ම මාර්ග නීති පවත්වාගෙන යෑමේ ආයතනය වන පොලීසියට ඒ සඳහා ජනතාවගේ සහාය මෙන්ම සම්පත් ද අවශ්‍ය වෙනවා. මහජන ආරක්ෂාව සඳහා ඉතා වැදගත් වන මාර්ග සංඥා අවශ්‍ය ස්ථාන වෙත ස්ථානගත කිරීම සඳහා යම් පිරිවැයක් දැරිය යුතු අතර ආයතනික සමාජ වගකීම් ඉහළින්ම ක්‍රියාත්මක කරන සමාගමක් ලෙස එම කාලීන සමාජීය අවශ්‍යතා ඉටු කිරීමක් ලෙසට දෙවැනි වරටත් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත මෙම මාර්ග සංඥා පුවරු ප්‍රදානය කිරීමට හැකි වීම පිළිබඳව අපි ඛෙහෙවින්ම සතුටු වෙනවා” යනුවෙන් HNB FINANCE හි අළෙවි අංශ ප්‍රධානී උදාර ගුණසිංහ මහතා පැවසීය.

HNB FINANCE පිළිබඳව
වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ෆිච් රේටිං ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික දිගුකාලීන ‘A(lka)Z ශ්‍රේණිගතකරණය සමාගම විසින් හිමිකර ගෙන ඇත. ශාඛා 60 ක් හා සේවා මධ්‍යස්ථාන 10 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය(SME)” ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප්‍රධාන වේ.